Movie Talk Episode 02 - Fight Club


image.png
Source

සමහර චිත්‍රපට තියෙනවා තිරගත වුණු කාලයේදී ආදායම් අතින් අසාර්ථක වුණත් පස්සේ කාලෙක ලෝකය පුරාම ඉන්න ප්‍රේක්ෂකයින් වැලඳගන්න චිත්‍රපට බවට පත්වෙන. 1999 වර්ෂයේදී ඩේවිඩ් ෆින්චර් (David Fincher) අධ්‍යක්ෂණය කළ Fight Club කියන්නේ අන්න ඒ වගේ සිනමා කෘතියක්. Chuck Palahniuk ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය Action ෆිල්ම් එකක් නෙවෙයි ඒක නූතන සමාජ ක්‍රමය සහ මිනිස් මනස උඩුයටිකුරු කරන දාර්ශනික මනෝවිද්‍යාත්මක විග්‍රහයක් (Psychological Thriller).
​අද මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ Fight Club චිත්‍රපටයේ තියෙන සැඟවුණු සිනමා උපක්‍රම සහ එහි ඇති ගැඹුරු සමාජීය පණිවිඩය පිළිබඳව විශ්ලේෂණයක් කරන්නයි.

​මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට නමක් නැහැ, ඔහුව හඳුන්වන්නේ The Narrator (එඩ්වඩ් නෝටන්) විදිහටයි. ඔහු නූතන කාර්මික සමාජයේ ඉන්න සාමාන්‍ය රස්සාවක් කරන Insomnia වලින් පෙළෙන පුද්ගලයෙක්. චිත්‍රපටයේ මුල් භාගයේදී පෙන්වනවා ඔහු තමන්ගේ නිවස අලංකාර කරන්න බඩු මිලදී ගන්න ආකාරය. ඔහු හිතන්නේ තමන් සතු Furniture, Clothes නිසා තමන්ගේ වටිනාකම වැඩි වෙනවා කියලා. නමුත් චිත්‍රපටය අපිට දෙන ලොකුම දර්ශනය තමයි, ඔබ සතු දේවල්, අවසානයේදී ඔබව අයිති කරගන්නවා කියන එක. තමන්ගේ නිවස විනාශ වුණාට පස්සේ තමයි ඔහුට Tyler Durden මුණගැහෙන්නේ. ටයිලර් කියන්නේ මේ පාරිභෝගික සමාජ ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ නිදහස් මතධාරී චරිතයක්.


image.png
Source


​ඩේවිඩ් ෆින්චර් කියන්නේ සිනමාවේ විස්තර ගැන අන්තයටම හිතන අධ්‍යක්ෂවරයෙක්. චිත්‍රපටයේ අන්තිමට එන ලොකුම Twist එක වන The Narrator සහ Tyler Durden කියන්නේ එක්කෙනෙක්මයි කියන එක ප්‍රේක්ෂකයාට මුල ඉඳලම ඉඟි කරන්න ෆින්චර් අපූරු උපක්‍රම පාවිච්චි කරනවා. චිත්‍රපටයේ මුල් විනාඩි 30 ඇතුළත Narrator ට ටයිලර්ව සැබෑ ලෙස මුණගැහෙන්න කලින් වීඩියෝ එකේ එක Frame එකක් ඇතුළත ටයිලර්ගේ රූපය මතුවී මැකී යනවා. අපේ ඇසට ඒක එකපාරටම අහුවෙන්නේ නැති වුණත් අපේ උපවිඥානයට ඒක ග්‍රහණය වෙනවා. මේකෙන් පෙන්වන්නේ ටයිලර් කියන්නේ Narrator ගේ ඔළුව ඇතුළේ හැදෙන මායාවක් කියන එකයි. ඒ වගේම Narrator තමන්ගේ ගෙය පිපිරුනාට පස්සේ ටයිලර්ට කෝල් එකක් ගන්නවා. හැබැයි ටයිලර් Answer කරන්නේ නැහැ. ඊට පස්සේ ෆෝන් එක Ring වෙද්දී Narrator ඒක ගත්තම ටයිලර් කතා කරනවා. හැබැයි ඒ ෆෝන් එකේ ගහලා තියෙනවා No incoming calls allowed (මේ ෆෝන් එකට පිටතින් ඇමතුම් ලබාගත නොහැක) කියලා. ඒ කියන්නේ ඒ ඇමතුම ආවේ ඔහුගේම මනසින්මයි.

​ඒ වගේම Jeff Cronenweth ගේ කැමරාකරණය චිත්‍රපටයේ තේමාවට උපරිම සාධාරණයක් ඉටු කරනවා. චිත්‍රපටය පුරාම පාවිච්චි කරන්නේ නිල්, කොළ සහ කහ වර්ණ. ඒ හරහා නූතන නගරයේ තියෙන ස්වභාවය සහ චරිතවල මානසික බිඳවැටීම නිරූපණය වෙනවා.සටන් කරන දර්ශන රූගත කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට පහළ මාලවල් වල (Basements) අඳුරු ආලෝකය පාවිච්චි කරලා. ඒ මගින් මිනිසාගේ ප්‍රචණ්ඩකාරී සහ නිදහස් හැසිරීම් මතු කරලා පෙන්වනවා.


image.png
Source


​Fight Club මගින් කතා කරන්නේ Dissociative Identity Disorder කියන මානසික තත්ත්වය ගැනයි. Narrator තමන්ගේ ජීවිතයේ තියෙන පීඩනය, කාන්සිය සහ දුර්වලකම දරාගන්න බැරි තැන තමන්ට වෙන්න බැරි වුණු පරිපූර්ණ මිනිසාව තමන්ගේම ඔළුව ඇතුළේ මවාගන්නවා. ඒ තමයි ටයිලර් ඩර්ඩන්.
​ටයිලර් කියන්නේ හැඩකාර, බය නැති, ඕනෑම දෙයකට අභියෝග කරන්න පුළුවන් නායකයෙක්. Narrator තමන්ගේ ඇතුළේ හිර කරගෙන ඉන්න මෘගයා තමයි ටයිලර් විදිහට එළියට එන්නේ. චිත්‍රපටය අවසානයේදී තමන් වෙඩි තියාගන්නේ ටයිලර්ව මරන්න නෙවෙයි තමන්ගේම මනසේ කොටසක් විනාශ කරලා යථාර්ථයට එන්න කියන එක වටහාගන්න කොට චිත්‍රපටය වෙනස්ම මානයකට ගමන් කරනවා. චිත්‍රපටයේ අවසාන දර්ශනය සිනමා ඉතිහාසයේ ලස්සනම සහ වඩාත්ම කතාබහට ලක්වුණු අවසානයක්. Narrator සහ Marla (හෙලේනා බොන්හැම් කාටර්) අත් අල්ලාගෙන ජනේලයකින් බලා සිටිද්දී නගරයේ ක්‍රෙඩිට් කාඩ් සහ බැංකු මූලස්ථාන ගොඩනැගිලි එකින් එක පිපිරී බිඳ වැටෙනවා. ඒකෙන් කියන්නේ පාරිභෝගික සමාජ ක්‍රමය මුලිනුපුටා දැමීම. ඒ වෙලාවේ පසුබිමෙන් ඇසෙන The Pixies කණ්ඩායමේ Where Is My Mind? කියන සිංදුව චිත්‍රපටයේ තේමාවට හොදින් ම ගැලපෙනවා. මුළු චිත්‍රපටය පුරාම තමන්ගේ මනස අහිමි කරගෙන හිටපු මිනිසෙකුගේ කතාවට මීට වඩා හොඳ සංගීත කණ්ඩයක් තවත් නැති තරම්.

ඔයා Fight Club චිත්‍රපටය මුලින්ම බැලුවම ඔයාට ඒකෙ Twist එක හොයාගන්න පුලුවන් වුනාද? ටයිලර් ඩර්ඩන්ගේ දර්ශනය ගැන ඔයාගෙ අදහස මොකද්ද ? පහළින් Comment එකක් දාන්න. ​සිනමාවේ මේ වගේ සැඟවුණු පැති ගැන තවත් ලිපි කියවන්න කැමති නම් දිගටම එකතු වෙන්න.

Sort:  

Superb movie 😍